සරසවි මාතාවගේ සුජාත දරුවන් ලෙසින් අධ්‍යාපනයේ අසීමිත අයිතිය අනාගත පරම්පරාවක් උදෙසා රැකගැනීමේ පැහැර හැරිය නොහැකි වගකීම අපගේ උරහිස් මත පැටවී ඇත්තෙමු. ඒ වෙනුවෙන් නැගී සිටිමු. පෙළ ගැසෙමු.
Tuesday, February 3, 2015
නාමල්ගේ ලියුම් වලට හොරපාරෙන් සරසවි වරම් දුන් සට්ටැඹි ජෝඩුව පන්නමු
යහපාලන රාජ්‍යයට අවහිරයක් ව තිබූ එක් ඇනයක් ගලවා ඉවත් කළ නමුත් තවත් ප්‍රධාන ඝණයේ මලකඩ කෑ ඉස්කුරුප්පු ඇන දෙකක් ඉතිරි වී තිබේ. ගලවා ලූ ඇනය නීති ප්‍රජාවට ඇනයක් වූ අගවිනිසුරු ඇනය වූ අතර ඉතිරිව ඇති මල කෑ ඉස්කුරුප්පු ඇන දෙක නම් සමස්ථ සරසවි බුද්ධිමය ප්‍රජාවටම ඇනයක් වී ඇති විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනිය ක්ෂනිකා හිරිඹුරේගම සහ කොළඹ සරසවියේ උප කුලපති වී සිටින ඇයගේ වල්ලභයාය.
මොහාන් පීරිස් මෙන්ම ඇයද සිය වල්ලභයා සමග එක්ව ගං කබර රාජපක්ෂලාගේ හිත සුව පිණිස සමස්ථ සරසවි සංස්කෘතියම බල්ලාට දමා කටයුතු කළාය. රාජපක්ෂලාට ආචාර්ය උපාධි පුදා බඩ සරි කරගත්තාය. ඇයගේ අශීලාචාර දූෂන ක්‍රියා සහසක් අතර ප්‍රධානතම දූෂනය වන්නේ නාමල් රාජපක්ෂ ගේ ලියුම් වලට සරසවි වලට නුසුදුසු ලමයින් ඇතුලත් කර ගැනීමයි.
දෙවැන්න නම් කොළඹ 7 හේවා ඇවනියුහි පිහිටා තිබූ කෝටි 24 ක් වටිනා තම නිවස සහ ඉඩම අන්තිම කැමැති පත්‍රයකින් කොළඹ සරසවියේ කාන්තා නේවාසිකාගාරයට පරිත්‍යාග කළ කීර්තිමත් වෛද්‍යවරියක් වූ සිවා සින්නතම්බි මහත්මියගේ දේපොල මංකොල්ලා කෑමයි. අද දක්වා එය සරසවි දරුවන්ට නොදී චීන ජාතිකයන්ට බදු දී විශාල අත යට මුදලක් මංකොල්ලා කා තිබේ. (එ් තිරිසන් වංචාව ගැන වෙනම ලිපියකින් තොරතුරු හෙළි කරන්නෙමු)
ඒ තරම් අසික්කිත දූෂනයන්හි යෙදුනු හිරිඹුරේගම අම්මන්ඩිට එක තත්ත්පරයක් මේ යහපාලන රාජ්‍යයේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනිය ලෙස කටයුතු කිරීමට සදාචාරාත්මක අයිතියක් නැත.
ඇයගේ වල්ලභයා වූ කොළඹ සරසවියේ උප කුලපති කුමාර හිරිඹුරේගමද ඊට නොදෙවැනිය. වරක් කොළඹ සරසවියේ උප කුලපති තේරීමේ දී මහාචාර්ය ලක්ෂ්මන් දිසානායකට ඡන්ද 21 ක් ලැබෙද්දී ක්ෂනිකාට ලැබුනේ ඡන්ද 8 ක් නමුත් ඇයව පත් කෙරිණ. දෙවැනි වාරයේදී මහාචාර්ය දිසානායකට ඡන්ද 15 ලැබෙද්දී ක්ෂනිකාගේ වල්ලභයා වූ කුමාර හිරිඹුරේගමට ඡන්ද 13 ක් ලැබුනද ඔහුව පත් කෙළේය. ඇත්තටම හිරිඹූරේගමලාට හිරි ඔතප් තිබුනා නම්, ලැජ්ජා නහරයෙන් කාලක් ඉතිරිව තිබුනා නම් එම තනතුරු නොගෙන සිටිය යුතුය. දැන් කොළඹ සරසවියේ කුමාර හිරිඹූරේගම උප කුලපතිගේ වරදක් ගැන පැමිණිලි කිරීමට සිදුව ඇත්තේ ප්‍රතිපාදන කොමිසමේ සභාපතිනිය වූ ඔහුගේ බිරිඳට ය. අඳෝමැයි..!
පසුගියදා කොළඹ සරසවියේ සනාතන සභාව රැස්වූ අතර ඊට සහභාගී වූ 200 ක් පමණ වියතුන් සියළු දෙනා එක හඬින් කියා සිටියේ කුමාරයාට තොලොංජී වී ඉල්ලා අස්වන ලෙස නමුත් විලි ලැජ්ජාව නැති එකාගේ ආචාර්ය උපාධියෙන්ද වැඩක් නැති බව හිරිඹුරේගම ඔප්පු කර පෙන්වීය.
කෑම්පස්නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වන පරිදි හිරිඹූරේගම ජෝඩුව මේ වන විට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිගේ නිවසේ පිලිකන්නේ ඉව අල්ලමින් සිටිති. ඔවුන්ගේ පුත්‍රයා සහ සිරිසේන පුත්‍රයා එකට පාසැල් ගිය අය බැවින් ඒ හිතවත් කම් යොදා ගනිමින් තනතුරු රැක ගන්නට වලිකමින් සිටිති. ඇමැති මහාචාර්ය රාජීව විජේසිංහටද ඇප නූලක් දමාගෙන ඇතැයි නිල නොවන ආරංචි පවසයි.
එක් දෙයක් ඉන්තේරුවෙන්ම කිව යුතුය. මොහාන් පීරිස් සේ බලු වී පජාත වී රටටම පිලිකුලක් වී ලෝකයටම ප්‍රසිද්ධ වී එළවා දමන තුරු ඉන්නවාද ? නැතිනම් වද නොදී නම්බු පිටින් ඉල්ලා අස්වෙනවාද ? යන්න තෝරාගැනීමට හිරිඹූරේගමලාට ඇති අයිතියට තව දින කිහිපයක් කල් දිය හැකිය. ඉන්පසුව මෛත්‍රීගේ පුතාගේ ක්ලාස් මේට් ඇප නූල් යහපාලනප්‍රේමී ජනතා බලවේගයට නම් ශත පහක වටිනාකමක් නැති බව අත් දැකීමෙන් පසක් කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment